• ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ශ්‍රී ලංකාව
  • +94 11 2777627

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ ජාතික සමුළුව

ph1

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල ලේකම් කාර්යාලය සිය අනුග්‍රාහකත්වයෙන් 2017 ජූනි මස 28 වැනි බදාදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ ජාතික සමුළුවක් පැවැත්වූයේය.පෙ.ව.9.30 සිට දිනය පුරා පැවැති සමුළුව,ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සිදු කිරීම වටා සංවාදය ප්‍රවර්ධනය කිරීම සඳහා විවිධ අංශ වෙතින් පුළුල් පරාසයක වන පාර්ශ්වකරුවන් එකට එක් කිරීම අරමුණු කළේය. ගරු අග්‍රාමාත්‍යතුමා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල සාමාජිකයෝ,විදේශ නියෝජිතයෝ,පළාත් ආණ්ඩු නියෝජිතයෝ, ශ්‍රී ලංකා පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව සහ මානව හිමිකම් කොමිෂන් සභාව වැනි රාජ්‍ය ආයතන වෙතින් ප්‍රධාන නිලධාරීහු සහ විශේෂඳවරු මෙන්ම විද්වත්හු මෙම අවස්ථාවට සහභාගි වූහ.

ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණ සිටින දකුණු අප්‍රිකාවේ හිටපු නියෝජ්‍ය අගවිනිසුරු අතිගරු ඩික්ගැන්ග් මොසනෙකේ විනිසුරුතුමන්ද මෙම අවස්ථාවට සහභාගි වූයේය.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියෙහි ප්‍රධාන නිලධාරීන් විසින් කෙරෙන ආමන්ත්‍රණ හා තාක්ෂණික ඉදිරිපත් කිරීම් මෙම සමුළුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් විය. වර්තමානආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ශ්‍රී ලංකාවේ සියළු ප්‍රජාවන්ගේ අවශ්‍යතා හා අභිලාෂයන් ඉටු කිරීම අරමුණු කර ගත්තක් බවත් එය ප්‍රගතිශීලී සංවර්ධන න්‍යාය පත්‍රයක කොටසක් බවත් අවධාරණය කළ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති ගරු තිලංග සුමතිපාල මහතා සමුළුවේ සමාරම්භක දේශනය කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය හා රාජ්‍යයේ ස්වභාවය , මැතිවරණ ක්‍රමය ,බලය විමධ්‍යගත කිරීමේ ක්‍රමය සහ රාජ්‍ය ආගම වැනි ජාතික වැදගත්කමක් ඇති ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන කාර්යයෙහිදී දැනට මුහුණ දී සිටින අභියෝග පිළබඳව සඳහන් කරමින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා විස්තරාත්මක කථාවක් කළේය.1972 දී සහ 1978 දී පෙර පැවති ක්‍රියාවලිවලට වෙනස් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමා කථා කළේය.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ  පොදු එකඟතාවකට  එළැඹීම - දකුණු  අප්‍රිකානු අත්දැකීම”  යන මැයේ කථා කළ දකුණු අප්‍රිකාවේ  හිටපු  උප අග්‍රවිනිශ්චයකාරතුමාගේ කථාව අග්‍රාමාත්‍යවරයාගේ කථාවට පසුව එළැඹියේය. 

1933  වර්ෂයේදී  දකුණු  අප්‍රිකානු  අතුරු  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කළ තාක්ෂණික  කමිටුවෙහි සේවය කළ, දකුණු  අප්‍රිකාවේ ඉහළම නීති විශාරදයන්ගෙන් කෙනෙකු ලෙස  විනිසුරු මොසෙන්කි  මැතිතුමා පුළුල් ලෙස පිළිගැනීමට ලක්ව තිබේ. එතුමන්ගේ කථාවෙහිදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් අන්තර්කාලීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේදී මුහුණ දීමට සිදු වූ නොගිනිය හැකි තරම් වූ අභියෝගයන් පිළිබඳවත්  එකමුතුභාවය, විවිධත්වය, සංහිඳියාව, ප්‍රජාතන්ත්‍රවාදය, මූලික අයිතිවාසිකම්  පිළිබඳ වූ එකඟතාව  සහ නිදහස යන පොදු වටිනාකම්  මූර්තිමත් කළ ලේඛනයක් ඔවුන් වෙනුවෙන්ම පිළියෙල කර ගැනීමේදී දකුණු අප්‍රිකානු  ජනතාව  එම අභියෝගයන් ජය ගන්නේ කෙසේද යන්න පිළිබඳවත් එතුමන් මතු කළේය.  

විනිසුරු මොසෙන්කි මැතිතුමන්ට  පසුව කථා කළ  ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථා මණ්ඩලයෙහි අතිරේක ලේකම් යුරේෂා  ප්‍රනාන්දු මහත්මිය  වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරන  න්‍යාය පත්‍රයෙහි විවිධ අවධීන්  පිළිබඳවත් තාක්ෂණික කාරණා පිළිබඳවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල ලේකම් කාර්යාලයීය කටයුතු පිළිබඳවත් කථා කළාය.  ඉන් අනතුරුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ  පිළිබඳව  මහජන අදහස් විමසීමේ  කමිටුවෙහි සභාපති ලාල් විජේනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයන් සම්බන්ධයෙන්  මහජනතාවගේ ප්‍රතිපෝෂණයන් ලබා ගනු වස් 2016  වසරෙහිදී පවත්වාගෙන යනු ලැබූ මහජන අදහස්  විමසුම් ක්‍රියාවලිය පිළිබඳව  අදහස් දැක්වීය.

ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථා මණ්ඩලයෙහි  මෙහෙයුම් කමිටුව  මඟින් පත් කළ විද්වත් කමිටුව මඟින් ඉදිරිපත් කරන ලද අනු  කමිටු වාර්තා 6ක් පිළිබඳව වූ  තාක්ෂණික ඉදිරිපත් කිරීම්වලින් පස්වරු සැසිය  සමන්විතය විය.  මහාචාර්ය  කමිනා ගුණරත්න මහත්මිය, නිරාන් ඇන්කටෙල් මහතා, අශෝක ගුණවර්ධන  මහතා,  මහාචාර්ය  කපිල පෙරේරා මහතා  සහ මහාචාර්ය නවරත්න බණ්ඩාර මහතා සහ චාමින්ද්‍රි සපරමාදු  මහත්මිය  විසින් පිළිවෙළින් මූලික  අයිතිවාසිකම්, අධිකරණය, රාජ්‍ය මූල්‍යය, නීතිය  හා සාමය, රාජ්‍ය සේවය සහ මධ්‍යම ආණ්ඩුව සහ පළාත් අතර සම්බන්ධතාව  පිළිබඳව වූ  අනුකමිටු වාර්තා පිළිබඳව ඉදිරිපත් කිරීම්  සිදු කරන ලදි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ඇති දැඩි අවශ්‍යතාව සහ භූමියේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේදී ජයගත යුතු බහුවිධ අභියෝග පිළිබඳව ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ද ගෞරවනීය සභාව හමුවේ කරුණු දැක්වූවාය.

සමුළුවේ අවසන් සැසිය ප්‍රශ්න හා පිළිතුරු සැසියක ස්වරූපයකින් පැවැත්වුණු අතර මෙහෙයුම් කමිටුවේ කළමනාකරණ කමිටුවේ සම-සභාපතිවරුන් වන ගරු (ආචාර්ය) ජයම්පති වික්‍රමරත්න සහ ගරු එම්. ඒ. සුමන්තිරන් යන මහත්වරු එය මෙහෙයවූහ. අනුකාරක සභාවල වාර්තාවලට අදාල ගැටළු, ප්‍රධාන අභියෝග සහ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියට අදාල සියලු ප්‍රායෝගික  කරුණු පිළිබඳව සමුළුවට සහභාගීවූවෝ පුළුල්ව සාකච්ඡා කළහ. ප්‍රශ්න හා පිළිතුරු සැසිය පස්වරු 4.30 ට අවසන් වූ අතර එය සමුළුවේ නිමාව ද සනිටුහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය සංවිධාන කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ පළමු ජාතික මට්ටමේ සමුළුව මෙය වූ අතර ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය පිළිබඳ මනා අවබෝධයක් ගොඩනැගීමේ වැඩපිලිවෙලේ අදියරක් ලෙස එය ක්‍රියාවට නැංවිණ.