• පාර්ලිමේන්තු සංකීර්ණය, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ශ්‍රී ලංකාව
  • +94 11 2777627

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටුව වෙනුවෙන් ඉදිරිපත් කරන මාධ්‍ය නිවේදනයයි

2017 ජුනි මස 28 වැනි දින පවත්වන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ සම්මන්ත්‍රණයට අස්ගිරි පාර්ශ්වයේ මහානායක ස්වාමින් වහන්සේට ආරාධනා කිරීම සම්බන්ධයෙනි :

2017 ජුනි මස 28 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ සම්මන්ත්‍රණයට අතිපූජ්‍ය අස්ගිරි පාර්ශ්වයේ මහානායක තෙරුන් වහන්සේ සහ / හෝ උන්වහන්සේගේ  නියෝජිත ස්වාමින් වහන්සේ නමක් ඇතුළුව ගරුතර මහා සංඝ රත්නයට ආරාධනා සිදුකර නොමැති බවට ප්‍රධාන පෙළේ ප්‍රවෘත්ති පත්‍ර කිහිපයක් මගින් වාර්තා කොට තිබිණි. තවදුරටත් ගරුතර මහාසංඝ රත්නයට නිසි පරිදි ආරාධනා පත් යොමු කිරීමකින්  තොරව මෙම සම්මන්ත්‍රණය පවත්වා ඇති බවට සංඝ සභාව විසින් ප්‍රකාශ කර ඇති බවටද වාර්තා කර තිබුණි.

අතිපූජ්‍ය ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ට (සියම්, අමරපුර, රාමඤ්ඤ) සහ අනෙකුත් ආගමික නායකයින්ට නියමිත පරිදි අදාළ ආරාධනාපත් යොමු කරන ලද බව පැහැදිලි කිරීමට මෙහෙයුම් කමිටුව බලාපොරොත්තු වේ.

2017 ජුනි මස 20 වන දින මෙහෙයුම් කමිටුව රැස්වූ අවස්ථාවේදී අදාළ සම්මන්ත්‍රණය පිළිබඳ සාකච්ඡා කොට න්‍යාය පත්‍රය (සංශෝධනය කරන ලද) සම්මත කරනු ලැබු අතර, ඊට පසු දිනම එනම් 2017 ජුනි මස 21 වන දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මහලේකම් කාර්යාලය විසින් සීඝ්‍රගාමී තැපැල් සේවාව මගින් ආරාධනා පත් යැවීම සිදු කරන ලදී.

ඊට අමතරව, මෙම උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් මෙහෙයුම් කමිටුවඅවසාන වශයෙන් සිදුකළ සලකා බ‍ැලීමට පෙර, 2017 ජුනි මස 13,14 සහ 15 යන දිනයන්හිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මහලේකම් කාර්යාලය විසින් , 2017 ජුනි මස 28 වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳසම්මන්ත්‍රණයට මහා නායක ස්වාමින් වහන්සේලාට වැඩම කිරීමට ඇති හැකියාව පිළිබඳ, අදාළ නිකායන්හි / පාර්ශ්වයන්හි මහානායක හිමිවරුන්ගේ කාර්යාලයන් අමතාවිමසන ලදී.

මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානායක හිමියන්ගේ කාර්යාලය විසින් ඒ වන විට අදාළ දිනට යොදාගත් විශේෂ රාජකාරියක් නොමැති බවත්, එමනිසා උන්වහන්සේට මෙම සම්මන්ත්‍රණයට සහභාගී වීමට හැකියාවක් පවතින බවත් දැනුම් දෙන ලදී.

අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන්ගේ කාර්යාලය විසින් අදාළ දිනයට නානුමුර මංගල්‍යය පැවැත්වීමට නියමිතව ඇති බැවින් උන්වහන්සේට සම්මන්ත්‍රණයට වැඩම කිරීමේ හැකියාවක් නොමැති බවට දැනුම් දෙන ලදී.

තවදුරටත් රාමඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි ස්වාමින් වහන්සේ එදිනට මියැන්මාරයට වැඩම කිරීමට නියමිතව ඇති බවත්, රාමඤ්ඤ නිකාය නියෝජනය කරමින් වෙනත් ස්වාමින් වහන්සේ නමක් නම් කළ හැකි බවත්  උන්වහන්සේගේ කාර්යාලයෙන් දැනුම් දෙන ලදී.

අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් විසින් 2017 ජුනි මස 28 වන දින සම්මන්ත්‍රණයේ කුමන හෝ වේලාවකදී වැඩම කිරීමට උත්සාහ දරන බවට දැනුම් දෙන ලදී.

කෙසේ වෙතත් 2017 ජුනි 27 වන දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මහලේකම් කාර්යාලයේ ආරාධනා පත්‍රයේ පැමිණීම තහවුරුවට ලබාදී තිබූ දුරකථන අංකයට ඇමතුමක් ලබා දී , අස්ගිරි පාර්ශ්වයේ මහානායක ස්වාමින් වහන්සේවිදේශ ගත වී ඇති බැවින් සම්මන්ත්‍රණයට සහභාගී වීමට නොහැකි බව උන්වහන්සේගේ කාර්යාලයෙන් දැනුම් දෙන ලදී.

එම දිනයේම අමරපුර නිකායේ මහානායක  ස්වාමින් වහන්සේ හට නිවිතිගල ප්‍රදේශයේ  නායක ස්වාමින් වහන්සේ නමකගේ අපවත් වීමක්  නිසා නිවිතිගලට වැඩම කිරීමට සිදුව ඇති බැවින්,  සම්මන්ත්‍රණයට වැඩම කළ නොහැකි බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මහලේකම් කාර්යාලයට දැනුම් දෙන ලදී.

ඊට අමතරව රාමඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමියන් මියන්මාරයට වැඩම කර ඇති බැවින් සම්මන්ත්‍රණයට සහභාගි වීමට නොහැකි බව දැනුම් දුන් අතර,  ඒ වෙනුවෙන් රාමඤ්ඤ නිකාය නියෝජනය කරමින් පූජ්‍ය මැදගමුවේ විජය මෛත්‍රි ස්වාමින් වහන්සේ ඊට සම්බන්ධ කරගැනීම සඳහා අවශ්‍ය විස්තර පූජ්‍ය මාතලේ ධම්මකුසල අනුනායක ස්වාමින් වහන්සේ විසින් ලබාදුනි. පූජ්‍ය මැදගමුවේ විජය මෛත්‍රි ස්වාමින් වහන්සේ ඊට සහභාගී වීමට උත්සාහ දරන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මහලේකම් කාර්යාලයට දැනුම් දෙන ලදී.

මල්වතු පාර්ශ්වයේ මහානායක ස්වාමින් වහන්සේට සම්මන්ත්‍රණයට වැඩම කළ නොහැකි බවට දැනුම් දුන්නද, මල්වතු පාර්ශ්වය නියෝජනය කරමින් පූජ්‍ය වැලිවිට සෝරත හිමියන් සම්මන්ත්‍රණයට සහභාගි වන බව දැනුම් දෙන ලදී. එසේම උන්වහන්සේ සම්මන්ත්‍රණය පුරාවට සම්මන්ත්‍රණ ශාලාවේ රැඳී සිටින ලදී.

(මෙම සියලු කරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මහලේකම් කාර්යාලය විසින් 2017 ජුලි මස 05 වන දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටුවේ අවධානයට යොමු කරන ලද කරුණු මත පදනම් වී ඇත.)

නීල් ඉද්දවෙල

මෙහෙයුම් කමිටු ලේකම්