• පාර්ලිමේන්තු සංකීර්ණය, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ශ්‍රී ලංකාව
  • +94 11 2777627

ඉතිහාසය

king 2

 

ශ්‍රී ලාංකීය සමාජයේ ජයග්‍රහණ, අරගල සහ කැළඹිලිකාර තත්ත්වයන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඉතිහාසය තුළ නිරූපනය වේ. 16 වන ශත වර්ෂයේ සිට 1948 දී ශ්‍රී ලංකාව නිදහස ලබා ගන්නා තෙක් කාලය තුළ යටත් විිජිත ආධිපත්‍ය හා පාලනය තුළින් මෙරටට නූතනත්වය බලෙන් කාවැද්දීම සිදු කරන ලදී.

ක්‍රි. ව. 5 වන සියවස දක්වා දිව යන ලිඛිත ඉතිහාසයක් පිළිබඳව ශ්‍රී ලංකාව උදම් අනයි. මුළු රටම පාලනය කරන රජ කෙනෙකුගේ පාලනයට ඉඳහිට නතුවූ ප්‍රාදේශීය රාජධානි පිහිටුවීම සහ ශ්‍රී ලාංකීය සමාජය තුළට බුදු දහම හඳුන්වා දී බුදු දහම ස්ථාපනය කිරීම පිළිබඳව වාර්ථා ප්‍රාග්-නූතන ඉතිහාසය තුළ හමුවේ. භූගෝලීය වශයෙන් ක්‍රමෝපායික පිහිටීමක් ඇති හෙයින් මෙම දිවයින ආසියාව, මැද පෙරදිග වැනි ප්‍රදේශවල ඉතා ප්‍රසිද්ධ විය.

මෙම රට යටත් විජිතවාදී ප්‍රබල රාජ්‍යයන් සමග පළමු ප්‍රසිද්ධ ගැටුම ආරම්භ වන්නේ 1505 දී මෙරටට පෘතුගීසින්ගේ ආගමනය සිදුවීමත් සමග ය. 1580 දී පෘතුගීසින් විසින් කෝට්ටේ රාජධානිය යටත් කර ගන්නා ලදී. ඉදිරි දශක කිහිපය තුළදී ඔව්හු තම පාලනය දිවයිනෙහි මුහුදුබඩ පළාත් කරා ව්‍යාප්ත කළහ. මෙරටින් පෘතුගීසින් පළවා හැරීමේ අරමුණ ඇතුව ශ්‍රී ලංකාවේ පාලකයින් විසින් 1638 -1663 කාල වකවානුව තුළදී ලන්දේසීන් සමග සමගි සන්ධානයන් ඇතිකර ගන්නා ලදී. 1640 වර්ෂයේදී ලන්දේසි පාලනය මෙරට තුළ ස්ථාපනය කරන ලද අතර (1802) ඒමියන්ස් ගිවිසුම යටතේ, තම පාලනය යටතේ පැවති ප්‍රදේශ බ්‍රිතාන්‍යයන්ට පවරා දෙන තෙක්ම ඔව්හු තම පාලනය සිදු කරගෙන ගියහ. ගම්මුලාදෑනි ධූරය වැනි එවකට පැවති පාලන ක්‍රම තුළින් සකස් කරගන්නා ලද පරිපාලන ක්‍රමයක් ලන්දේසින් විසින් තම පාලන කාලය තුළදී ස්ථාපනය කරන ලදී. මෙම කාලය තුළදී මූලික උසාවි හා අධිකරණ ක්‍රමයක් සහිතව රෝම ලන්දේසි නීති ක්‍රමය මෙරටට හඳුන්වා දෙන ලදී. යටත් විජිත පාලකයන් අතරින්, 1815 වර්ෂයේදී උඩරට ගිවිසුමඅත්සන් කොට මුළු මහත් දිවයිනම තම පාලනය යටතට ගෙන ඒමට හැකි වූයේ බ්‍රිතාන්‍යයන්ට පමණි.

1948 වර්ෂය දක්වාම ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කොටසක් විය. වර්තමානයේදී දක්නට ලැබෙන ආකාරයේ පාලන ක්‍රමයක් ස්ථාපනය කිරීම සඳහා අඩිතාලම සකසනු ලැබූයේ මෙම කාල පරිච්ඡේදය අග භාගයේදී ය.

ශ්‍රී ලංකාව වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ප්‍රජාතන්ත්‍රවාදය ලබාදීම දක්වා දිවෙන මාවත තුළ අනෙකුත් රටවලට සාපේක්ෂව කලින්ම සර්වජන ඡන්ද බලය ලබාදීම, සාමකාමී ලෙස රජයයන් වෙනස් කිරීම සහ අධ්‍යාපනය හා සෞඛ්‍යය යන ක්ෂේත්‍ර තුළ ප්‍රබල සුබසාධන ප්‍රතිපත්ති නිර්මාණය කිරීම යන සංසිද්ධි දක්නට ලැබේ. මෙම කාලය තුළදී ජනවාර්ගික අර්බුදයන් ඇතිවීම බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරයන් නිර්මාණය වීම සහ රාජ්‍ය පාලනය තුළ බලය බෙදීම කෙරෙහි අභියෝග එල්ල වීම යන තත්ත්වයන්ට මුහුණ පෑමට ශ්‍රී ලංකාවට සිදු විය. 2009 මැයි මාසයේදී අභ්‍යන්තර සන්නද්ධ අරගලය නිම වීමත් සමඟ ශ්‍රී ලංකාව මුහුණදෙන ප්‍රධාන සුවිශේෂී අභියෝග වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහතික කිරීම, නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීම සහ බහුවාර්ගිකත්වයට ගරු කිරීම තහවුරු කිරීමයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරීම තුළින් මෙම අභියෝග ජය ගැනීමට වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අපේක්ෂා කරයි.

ලංකාව (එවකට ශ්‍රී ලංකාව හඳුන්වනු ලැබූයේ මෙම නමිනි.) සඳහා සම්මත කරන ලද ප්‍රථම ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වූයේ ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙස පොදුවේ හඳුන්වනු ලබන 1931 රාජ්‍ය මන්ත්‍රණ සභාව විසින් සම්මත කරන ලද ලංකා (රාජ්‍ය මන්ත්‍රණ සභා) ආඥාවයි. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට පෙර, යටත් විජිත පාලකයන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පාලනය ස්ථාපිත කිරීම සඳහා වෙනත් ප්‍රතිසංස්කරණ කිහිපයක් හඳුන්වා දී තිබුණි. එකී ප්‍රතිසංස්කරණ පහත සඳහන් වේ.

• 1833 කෝල්බෲක් - කැමරන් ප්‍රතිසංස්කරණ

• 1912 කෝල්බෲක් - මැකලම් ප්‍රතිසංස්කරණ

• 1922 මැනිං ප්‍රතිසංස්කරණ

• 1924 මැනිං - ඩෙවොන්ෂයර් ප්‍රතිසංස්කරණ

මෙකී ප්‍රතිසංස්කරණ අතරින් කෝල්බෲක් - කැමරන් ප්‍රතිසංස්කරණ විසින් එවකට පැවති පාලන ක්‍රමය තුළ සුවිශේෂී වෙනස්කම් ඇති කරමින් රට තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පාලනය ස්ථාපිත කිරීම සඳහා පදනම සකස් කරන ලදී. ඉන් අනතුරුව ඇති කරන ලද ප්‍රතිසංස්කරණ  විසින් ජනවාර්ගික අනන්‍යතාවය මත පදනම්ව ව්‍යවස්ථාදායක මණ්ඩලය සඳහා පුද්ගලයන් තෝරා පත් කිරීම ඇතුළු ප්‍රතිගාමී පාලන යාන්ත්‍රණයක් හඳුන්වාදෙන ලදී. කෙසේ වුවද අධ්‍යාපනය හා ධනය යන සාධක මත පදනම්ව, ඡන්දය ලබාදීමේ අයිතිය පුරුෂ පක්ෂයට පමණක් සීමා කරන ලදී. පරිපාලනයට හවුල් වීම සඳහා බලතල වැඩිපුර ලබා දෙන ලෙස ප්‍රාදේශීය නායකයන් විසින් කරන ලද ඉල්ලීම් වල ප්‍රතිඵලයක් ලෙස කල් යෑමේදී ව්‍යවස්ථාදායක මණ්ඩලය තුළ නිල නොවන සභිකයන් සංඛ්‍යාව ඉහළ දැමීමද සිදු කරන ලදී.

මෙම කාලය තුළදී, දේශීය දේශපාලන නායකත්වය විසින් පරිපාලනය තුළ පුළුල් ප්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහා බලපෑම් කිරීමට ජනතාව එක්රැස් කරන ලදී. ස්වයං පාලනය සඳහා වූ ඉල්ලීමද රට තුළ ක්‍රම ක්‍රමයෙන් තීව්‍ර වෙමින් පැවතුණි. ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වාදෙනු ලැබූයේ මෙම සන්දර්භය තුළ ය. ජනවාර්ගික පදනම මත වූ නියෝජනය අහෝසි කිරීම, සර්වජන ඡන්ද බලය හඳුන්වා දීම, විධායක කාරක සභා ක්‍රමය හඳුන්වා දීම, කැබිනට් මණ්ඩලය හා රාජ්‍ය මන්ත්‍රණ සභාව පිහිටුවීම මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි සුවිශේෂී ලක්ෂණ වි ය. මෙම කාලය තුළ සිදුකරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ විවාද ප්‍රධාන දේශපාලනික ප්‍රශ්න දෙකක් මත පදනම් වි ය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබා ගැනීම ඉන් එක් ප්‍රශ්නයක් වූ අතර අනිත් ප්‍රශ්නය වූයේ ශ්‍රී ලංකාව නිදහස් රාජ්‍යයක් බවට පත් වුවහොත් රජය තුළ සුළු ජාතික නියෝජනය කළ යුත්තේ කෙසේද යන්නයි.

තම යුධමය ප්‍රයත්නයන් සඳහා බ්‍රිතාන්‍යයට ලංකාව විසින් සහයෝගය ලබාදීමේ පදනම මත දේශපාලන නිදහස ලබා ගැනීම සඳහා කේවල් කිරීමට දෙවන ලෝක යුද්ධය මගින් ලංකාවේ දේශපාලන නායකත්වය වෙත මග පාදන ලදී. සෝල්බරි කොමිෂන් සභා වාර්තාවෙන් අනතුරුව ඇති කරන ලද හෙයින් සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනුවෙන් හඳුන්වනු ලැබූ රාජ්‍ය මන්ත්‍රණ සභාවෙහි ලංකා (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා) ආඥාව මගින් ලංකාව තුළ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලද අතර එම පාලන ක්‍රමය තුළ වෙනත් සුවිශේෂී ලක්ෂණ කිහිපයක් අන්තර්ගත වි ය. පාර්ලිමේන්තුව මන්ත්‍රී මණ්ඩල දෙකකින් සමන්විත වි ය. එනම් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හා උත්තර නියෝජිත මන්ත්‍රී මණ්ඩලයයි. මූලික අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අන්තර්ගත නොවී ය. කෙසේ වුවද සුළු ජාතීන්ට එරෙහිව වෙනස්කොට සළකනු ලබන නීති සම්පාදනය තහනම් කරනු ලබන වගන්තියක් ඒ තුළ අන්තර්ගත වි ය. රාජ්‍ය සේවය ස්වාධීන වූ අතර අවසාන අභියාචනා අධිකරණය වූයේ රාජාධිකරණයයි. 1947 රාජ්‍ය මන්ත්‍රණ සභාවෙහි ලංකා (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා) සංශෝධන ආඥා තුන, පහ 1947 රාජ්‍ය මන්ත්‍රණ සභාවෙහි ලංකා (ස්වාධීන) ආඥාව මගින් බි්‍රතාන්‍යයෙන් නිදහස ලබා ගැනීමට මග පාදන ලද නමුත් එලෙස ලැබුණේ ඩොමිනියන් තත්ත්වයේ නිදහසකි.

විවිධ හේතු මත ඩොමිනියන් තත්ත්වය සම්බන්ධයෙන් මතුවෙමින් පැවති නොසතුට මත සහ එවකට පැවති ගෝලීය ප්‍රවණතා කෙරෙහි අවධානය යොමු කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය පාලන ක්‍රම ලබා ගැනීමේ සම්ප්‍රදායෙන් මිදී දේශීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපනය කිරීමට ලංකාවේ දේශපාලන නායකත්වය අපේක්ෂා කළේ ය. “දේශීය” යනුවෙන් අදහස් කරනු ලැබුවේ “රටේ භූමිය තුළින් පැන නැගුන” යන්න වන අතර පැවති ආණඩුක්‍රම ව්‍යවස්ථාවක් නිත්‍යානුකූලභාවය ලබා ගනුයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් නොව තම රටෙහිම ජනතාවගෙනි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය නම් වූ වෙනමම සභාවක රැස් වූ අතර ඒ අනුව 1972 වර්ෂයේදී ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගන්නා ලදී.

1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ශ්‍රී ලංකාව නිදහස්, ස්වෛරී හා ස්වාධීන ජන රජයක් ලෙස හඳුන්වන ලද අතර එය විසින් තම අධිකාරී බලය ලබා ගනු ලබන්නේ ජනතාවගේ පරමාධිකාරී බලයෙන් බවට පිළිගනු ලැබිණි. ව්‍යාවස්ථාදායකය එනම් ජාතික රාජ්‍ය සභාව, ජනරජයෙහි උත්තරීතරම පාළන ආයතනය වි ය. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ප්‍රකාශයට පත් කරන ලද අතර, ආගමික නිදහස පිළිගන්නා අතර ම බුදු දහම සඳහා ප්‍රමුඛස්ථානය පිරිනමන ලදී. යම් යම් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පිළිගනු ලැබූ නමුත් ඒවා බලාත්මක කිරීම සඳහා පැහැදිලි ප්‍රතිකර්ම ඒ තුළ අනත්ර්ගත නොවී ය. රාජ්‍ය නිළධාරීන් පත් කිරීම, මාරු කිරීම, ඔවුන් විෂයෙහි විනය පාලනය සහ ඔවුන් සේවයෙන් පහ කිරීම පිළිබඳ බලතල අමාත්‍ය මණ්ඩලය වෙත පැවැරුණු අතර, එහෙයින් අමාත්‍ය මණ්ඩලය ජාතික රාජ්‍ය සභාවට වගකිව යුතු වි ය. පහළ අධිකරණ වල විනිසුරුවන් යුක්තිය පසිඳලීම සිදු කරනු ලබන රාජ්‍ය නිළධාරීන් පත් කිරීම අධිකරණ සේවා උපදේශන මණ්ඩලයේ උපදෙස් මත අමාත්‍ය මණ්ඩලය විසින් සිදු කළ යුතු විය.

1977 වර්ෂයේ දී රජය වෙනස් වීමත් සමග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කෙරෙහි නැවතත් අවධානය යොමු වි ය. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් හරහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යෝජනා කරන ලද අතර, 1978 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙස එය සම්මත කර ගන්නා ලදී.

විධායක ජනාධිපති ධූරය මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලිකම ලක්‍ෂණය වි ය. උසස් නිලතල සඳහා පත් කරනු ලබන සියළුම පත් කිරීම් ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලබන අතර, තම ධූරයේ කටයුතු කරන කාලය තුළ දී ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවැරීමට නොහැකි වන ජනාධිපති මුක්තිය සහ අධිකරණමය ප්‍රතිකර්ම සහිත මූලික අයිතිවාසිකම් පිළිබඳ පුළුල් පරිච්ඡ්දයක් අන්තර්ගත වීම ද මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලක්‍ෂණ වි ය. මේ වන විට මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 19 වතාවක් සංශෝධනය කරනු ලැබ ඇත. මෙම සංශෝදන අතරින් හයවන, දහතුන් වන, දහහත් වන, දහඅට වන හා දහනව වන සංශෝදන දේශපාලනික වශයෙන් සුවිශේෂී වේ.

පුළුල් මහජන අදහස් විමසීමක් මත පදනම්ව සහ පාර්ලිමේන්තුවෙහි සියළුම දේශපාලන පක්‍ෂවල පොදු සහයෝගය ඇතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීම සඳහා වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ප්‍රයත්න දරයි.